Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් ආරාධනාවක් නෑ

ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් ආරාධනාවක් නෑ

editorial - 2020 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස්ම නිලධාරීන් හා සම්බන්ධතා පවත්වන අයෙක් ‘ද ස්පෝට්ස්ටාර්‘ සඟරාවට පැවසීය.
 
කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය දිගින් දිගටම කල්දැමීමට සිදුවූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියේ අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තමන් ආරාධනා කරන බවයි.
 
කෝවිඩ් - 19 වසංගතය ලෝකය පුරා පැතිරෙන තත්ත්වයක් තිබියදීත් ඊයේ (20 වැනිදා) වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වූයේ කෝවිඩ් - 19 රෝගීන් 303 ක් පමණි. ඉන්දියාවේදී කෝවිඩ් - 19 වයිරසය ආසාදිත වූ සංඛ්‍යාව 17,600 ක් වී තිබූ අතර ඉන්දියානුවෝ 550 කට වැඩි පිරිසක් මියගොස් සිටියහ.
 
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ඉතා සමීප සම්බන්ධතා පවත්වන ආරංචිමාර්ගයකින් කියැවෙන්නේ අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් නිල ආරාධනාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී නැති බවයි.
 
‘මාධ්‍ය වාර්තාවල එවැනි දෙයක් තිබිලා තියෙනවා. ඒත් ඒ ගැන කතාබහ කරන්න නම් ඒ සම්බන්ධයෙන් අපට නිලවශයෙන් ලිපියක් ආ යුතුයි“ යයි එම නිලධාරියා පැවසීය. නිල වශයෙන් ලිපියක් එව්වාද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් විධායක කමිටුවේ කිසිම සාකච්ඡාවක් සිදුවී නැති බවයි.
 
“ඒක නිකම් අපේ විධායක කමිටු සාමාජිකයන් දෙතුන් දෙනෙක් අතරේ ඇතිවුණ කතා බහක් විතරයි.. ඒ මිස ඒක ගැන විධායක කමිටුවේ සාකච්ඡා කරලා නෑ“ යයි විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.
 
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ අතර ගමනාගමනයට ගුවන් ගමන් අවශ්‍ය නොවන බැවින් තරගාවලිය සංවිධානය කිරීමේදී විශාල මුදලක් ඉතිරි කරගත හැකිය. එකිනෙකට සමාන දුරින් පිහිටි කොළඹ (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය), මහනුවර (පල්ලෙකැ‍ළේ) සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය පමණක් යොදාගෙන තරග සංවිධානය කළ හැකිනම් ගුවන් ගමන් අවශ්‍ය නොවේ.
අනෙක් අතට තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ නම් එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද විශාල මුදලක් උපයා ගත හැකිය. එය ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියකින් උපයාගත හැකි මුදලට වඩා වැඩි ආදායමකි.
 
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රකට් පාලක මණ්ඩලය මේ වන විට සිතා බලමින් සිටින්නේ අයි.පී.එල්. තරගාවලිය කෙසේ හෝ ඉන්දියාවේදීම පැවැත්වීමයි. දැන්වීම් මගින් එන ආදායම වැඩිවීම ඊට ප්‍රධානතම හේතුවයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සැලැස්ම අදියර දෙකකින් තරගාවලිය පැවැත්වීයි. එහි පළමු අදියර සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදීත් දෙවැනි අදියර ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදීත් පැවැත්වීමේ මූලික සැලැස්මක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබේ.
 
කෙසේ වෙතත් ලබන මාසයේදී අන්තර්ජාතක ක්‍රිකට් සභාවේ සභාපති තනතුරෙන් ඉන්දීය ජාතික ශෂාන්ක් මනෝහර් මහතා ඉවත් වීමෙන් පසුව ඇතිවියහැකි තත්ත්වය සම්බන්ධයෙන්ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානයෙන් සිටී.
 
“බොහෝ කාලයක ඉඳලා ශ්‍රී ලංකාව ඉන්දියාවේ (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ) සමීප මිතුරෙක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ යෝජනාව ගැන අපට තේරුම්ගන්න පුළුවන්..... ඒත් ලබන මාසයේදී ශෂාන්ක් මනෝහර් අන්තර්ජතික ක්‍රිකට් සභාවේ සභාපති තනතුරෙන් ඉවත් වුණාට පස්සේ මොකක් වෙයිද“ යයි ඔහු ප්‍රශ්න කර සිටියේය.
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ඉන්දියාව දෙසට හැරීමත් සමගම මෙවන් තත්ත්වයක් පැවතිය හැකි බව අයි.පී.එල්. කණ්ඩායම් හිමිකරුවෝ දැන සිටියහ. එහෙත් 2020 අයි.පී.එල්. තරගාවලිය කල්දමයිද නැතහොත් සහමුලින්ම අවලංගු කරනු ලබයිද යන නිවේදනය ලැබෙන තෙක් කණ්ඩායම් හිමිකරුවෝ බලා සිටියහ.
 
කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේයි ෂාහා මහතාගේ අත්සනින් යුත් නිවේදනයකින් ඔව්හු, එනම් කණ්ඩායම් හිමිකරුවෝ, සැනසුම් සුසුම් හෙළූහ.
 
“තරගාවලිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. 2020 ඉන්දීය ක්‍රිකට් සමය නැවත ආරම්භ කරනු ලබන්නේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වූවාට මෙන්ම ආරක්ෂිත වූවාටද පසුවය“ යයි එම නිවේදනයෙන් කියැවිණ.
 
“තරගාවලිය පැවැත්වෙන අලුත් දින වකවානු නියම කළාට පස්සේ අපට පුළුවන් විදේශීය ක්‍රීඩකයන් ගැන බලන්න. මොකද විදේශීය ක්‍රීඩකයන් ගන්න වෙන්නේ ඔවුන්ගේ අන්තර්ජතික තරග වලට බලපෑමක් නොවන පරිදියි“ යයි දිල්ලි කැපිටල් පිලේ ප්‍රධාන විධායක නිලධාරී ධීරාජ් මල්හොත්‍රා මහතා පැවසීය.
 
ද ස්පෝට්ස්ටාර් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් ආරාධනාවක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.